ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල ඉතිහාසය කෙටියෙන් – මහාචාර්ය සුනිල් ආරියරත්න

මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙන

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

අපේ විශ්ව විද්‍යාලයේ නම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයි. අපේ විශ්ව විද්‍යාලයට ඒ නම ලැබුනේ 1979 දීය. ඊට හේතුව අපේ විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවේ අග නගරයේ පිහිටා තිබීමය. 79 ට වසර කීපයකට පෙර එනම් 1972 දී අපේ විශ්ව විද්‍යාලය හැඳින්වුනේ ලංකා විශ්ව විද්‍යාලයේ විද්‍යෝදය මණ්ඩපය නමින්ය. මේ කවරාකාර නම් පට බැඳුනත් අපේ විශ්ව විද්‍යාලයේ උප්පැන්න සහතිකයේ සඳහන් වී තිබුන නම විද්‍යෝදය විශ්ව විද්‍යාලය යන්නය. උපන් වර්ෂය 1959ය. ඒ වනාහි ලංකාවේ බිහිවූ දෙවැනි විශ්ව විද්‍යාලයවේ. ලංකාවට දෙවැනි විශ්ව විද්‍යාලයක් අවශ්‍ය වන්නේත් ඒ විශ්ව විද්‍යාලය හැටියට විද්‍යෝදය විශ්ව විද්‍යාලය බිහි වන්නේත් පුපුරා යෑමට ආසන්න වු සමාජීය, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික කාරණා රාශියක් විසඳීමේ සමනය කිරීමේ ඒකායන පියවර හැටියටය.

විශ්වවිද්‍යාලයක් ඉල්ලා ගෙන ගිය උද්ගෝෂණ

ඉංග්‍රීසි ආණ්ඩුව 1945දී ලංකා විශ්ව විද්‍යාලය ස්ථාපිත කරන්නේ ලංකාවට විශ්ව විද්‍යාලයක් ඉල්ලා 1905 වැනි ඈත අතීතයේ පටන් ආචාර්ය ආනන්ද කුමාරස්වාමි, ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් ඇතුළු දේශ හිතෛෂී පිරිසක් ගෙන ගිය උද්ඝෝෂණයක ප්‍රතිපල හැටියට වේ. යටත් විජිත යුගයේ ඉංග්‍රීසින් ඇති කළ පාඨශාලාවල මෙන්ම ලංකා විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන මාධ්‍ය ඉංග්‍රීසි භාෂාව විය. උපකුලපති වරුන් ලෙස පත් වුණේත් රොබට් මාස්, අයිවර් ජෙනින්ස් වැනි ඉංග්‍රීසි ජාතිකයන්ය. විශ්ව විද්‍යාලය විවෘත කිරීමට පැමිණියේද බ්‍රිතාන්‍ය මහා රාජිනිය, එඩින්බරෝ ආදිපාදවරයා, සෝල්බරි සාමිවරයා ය.

එංගලන්ත අනුකරණයක් වූ ලංකා විශ්වවිද්‍යාලය

මේ සියලු බාහිර කාරණා නොසලකා හැරියත් ලංකා විශ්ව විද්‍යාලය නමින් බිහි වූයේ කුමාරස්වාමි සහ  අරුණාචලම් ආදීන් ප්‍රාර්ථිත විශ්ව විද්‍යාලය නම් නොවේ. කුමාරස්වාමි පැවසුවේ ලංකා විශ්ව විද්‍යාලය එංගලන්ත විශ්ව විද්‍යාලයක අනුකරණයක් නොවිය යුතු බවය. එය ප්‍රාචීන භාෂාවන්ගේ වර්ධනයට හේතු වන සහ දේශීය සභ්‍යත්වය පෝෂණය කරන ආයතනයක් විය යුතු බවයි. පොන්නම්බලම් අරුණාචලම් පැවසුවේ එය තරුණ පරපුර කෙරෙන් ඉතිහාසය හා මව්බස, ඉතිහාසය හා සම්ප්‍රදාය අමතක වීම වළක්වන ආයතනයක් විය යුතු බවය. එහෙත් ලංකා විශ්ව විද්‍යාලය පිහිටුවා බොහෝ කාලයකට පසු එදෙස ආපසු හැරී බැලූ ලංකා විශ්ව විද්‍යාලයටම අයත් මහා ප්‍රඥයකු වූ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර පැවසූයේ කුමක්ද? ලංකා විශ්ව විද්‍යාලය සපුරාම කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ අනුකරණයක් වූ බවය. එය අනුකාරකත්වය කොපමණ බලවත් වීද යත් විශ්ව විද්‍යාල පාලක පක්ෂය විසින් ශිෂ්‍ය සමූහයා හැන්දෙන් ගෑරුප්පුවෙන් කන්නත් හයි ටේබල් ඩිනර් වලට යවන්නත් පුරුදු පුහුණු කරවන ලද බවය. තවද නේවාසිකාගාරය තුල හෝ සරමක් ඇඳගෙන සිට අසුවුවහොත් දඬුවම් කළ බවය. මේ කරුණු පවසන්නේ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රය. තවත් ප්‍රකට විචාරකයෙක් වූ අමරදාස වීරසිංහයන් පවසා සිටියේ ලංකාව සංස්කෘතික කාන්තාරයක් යන මතය දැරූ අයිවර් ජෙනින්ස් වැනි උපකුලපතිවරුන් ලංකා විශ්ව විද්‍යාලය ඔස්සේ කලේ මෙරට බටහිර සංස්කෘතිය වගා කිරීම බවය.

භාෂා ප්‍රශ්නය

භාෂා ප්‍රශ්නයට එරෙහි වූ ජනතාව

1954 වන විට රජයේ සෑම පාඨශාලාවකම ජ්‍යෙෂ්ඨ සහතික පත්‍ර විභාගය දක්වා අධ්‍යාපන මාධ්‍යය වී තිබුණේ සිංහල හා දෙමළ භාෂාය. සිංහල මාධ්‍යයෙන් උගෙන විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගය ලියන්නට සූදානමෙන් සිටින පිරිසකගේ අනාගතය තීන්දු කිරීමේ බැරෑරුම් වගකීම පැවරී තිබුණේ 1956 බලයට පත්වූ බණ්ඩාරනායක රජයට සිංහලෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය විභාගය සමත් වන විට එම පිරිසට සිංහලෙන් උපාධි පාඨමාලා පැවැත්විය යුතු වුවත් ලංකා විශ්ව විද්‍යාලය සිංහලෙන් ඉගැන්වීම යන කාරණාව තරයේ ප්‍රතික්ෂේප කළහ. ඒ අනුව සිංහල මාධ්‍යයෙන් උගන්වන විශ්ව විද්‍යාලයක අවශ්‍යතාවය උද්ගත විය.

මේ අවස්ථාවේදී බණ්ඩාරනායක රජයේ අධ්‍යාපන අමාත්‍යවරයාව උන් ඩබ්ලිව්. දහනායක මහතා සිංහල මාධ්‍යයෙන් උපාධි ලබා දීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග කවරේදැයි සොයා බැලීමට එල්.එච්. මෙත්තානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් සිංහල විශ්ව විද්‍යාල උපාධි කමිටුව නමින් කමිටුවක් පත් කළේය. කමිටුවේ නිර්දේශය වූයේ අලුතින් ගොඩනැගිලි තනා අලුත් ආචාර්ය මණ්ඩල බඳවා ගෙන අලුත් විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට වඩා දේශ දේශාන්තරයන්හි පවා සිය කීර්ති කදම්භය පතුරවමින් සිටි විද්‍යෝදය හා විද්‍යාලංකාර යන දෙපිරිවෙන විශ්ව විද්‍යාල තත්ත්වයට උත්තීර්ණ කිරීම වඩා යෝග්‍ය බවය.

ලංකාවේ දෙවැනි විශ්වවිද්‍යාලය බිහිවීම සහ ශ්‍රී සෝරත නාහිමිපාණන්ගේ අප්‍රහිත කැපවීම

ලංකාවේ දෙවැනි විශ්ව විද්‍යාලයට පත්වීමේ අවශ්‍යතාව විද්‍යෝදය පිරිවෙනටත් විද්‍යාලංකාර පිරිවෙනටත් එක සේම තිබිණ. ඒත් එයින් ජයග්‍රහණය කළේ විද්‍යෝදය පිරිවෙනය. ඒ ජයග්‍රහණයේ අසහාය නියමුවා වූයේ විද්‍යෝදය පරිවේනාධිපති වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියෝ ය. උන්වහන්සේගේ අසදෘශ, අනුපමේය, අද්විතීය, අප්‍රමාණ, අසීමිත කැප කිරීම නිසා පිරිවෙන් විශ්ව විද්‍යාල පණත පාර්ලිමේන්තුවෙන් සම්මත වී මාස කිහිපයක් තුල එනම් 1959 පෙබරවාරි 18 වනදා විද්‍යෝදය විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවේ ප්‍රාදුර්භූත විණ. එදා සිට ඒතාක් වරප්‍රසාද ලත් ධනපති පන්තියට පමණක් සීමා වූ විශ්ව විද්‍යාල අධ්‍යාපනය පොදු ජනතාව වෙත කාන්දු වෙන්නට පටන් ගති.

සෝරත මාහිමිපාණන් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයින් අමතා කල ප්‍රකාශය

සෝරත හිමියන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අමතා කල මේ ප්‍රකාශය උන්වහන්සේගේ තීක්ෂණ බුද්ධිය සහ පුළුල් ජීවන දැක්ම ප්‍රකට කරවයි. උද්ධෘතය උන්වහන්සේගේ “මෙම විශ්ව විද්‍යාලයෙන් පොතේ ගුරුන් පිරිසක් බිහි වේවායි බලාපොරොත්තු නොවෙමු. කියන දේ එසේම පිළිගන්න විවේචනයට අකමැති පිරිසක් බලාපොරොත්තු නොවෙමු. නැවෙන් ගොඩබට හැටියේ විදෙශීය භාණ්ඩ වැනි මෙරටට අමුතුම වූ මෙහි සභ්‍යත්වය නොදන්නා කෘතීම රූකඩයන් පිරිසක් බලාපොරොත්තු නොවෙමු. විනෝද නොවන බර කල්පනාවෙන් පසුවන තාපස පිරිසක් බලාපොරොත්තු නොවෙමු. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් විනෝද විය යුතුය. විවේචනශීලී විය යුතුය. ගවේශණශීලී විය යුතුය. එහෙත් ඒ හැම තැනම සත්‍යගරුක විය යුතුය. යුක්ති ගරුක විය යුතුය. බුද්ධිමත් විය යුතුය. ශිෂ්ට විය යුතුය. සභ්‍ය විය යුතුය. සීමාන්තික නොවිය යුතුය.”

මාළිගාකන්දෙන් ගංගොඩවිලට

සෝරත නාහිමියන් කල ඊළඟ මහා වික්‍රමය නම් මාළිගාකන්දේ පිරිවෙනේ ආරම්භ කළ අලුත් විශ්ව විද්‍යාලය දෑවුරුද්දක් තුල ගංගොඩවිල අක්කර 34ක් වූ භූමියට එම භුමියේ උන්වහන්සේ ඉදි කල දෙමහල්, තෙමහල්, සිව්මහල් ගොඩනැගිලි වලට ගෙන එමින් 1961 නොවැම්බර් 23 වනදා සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය ලවා එකී අභිනව විශ්ව විද්‍යාල පරිශ්‍රය විවෘත කරවීමය. මෙහිදී මේ ඉතිහාසයෙන් පිට කාරණාවක් දක්වනවා නම් මේ අක්කර 34 අක්කර 56ක් දක්වා වර්ධනය කර ගැනීමේදී අපේ විද්‍යාර්ථීන්ගේ සංගමයේ අනුශාසක එස්.බී. දිසානායක අමාත්‍යවරයා ගත් හර්දයාංගම පියවර මේ මොහොතේ සිහිපත් කලයුතුය.වර්තමානයේද එම අක්කර 56 ප්‍රමාණවත්ම නොවන්නේ ලංකාවේ විශ්ව විද්‍යාලවලින් වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාව වන දස දහසක් වූ ශිෂ්‍ය සංඛ්‍යාව ඉගෙන ගන්නේ අපේ විශ්ව විද්‍යාලයේ නිසාය.

සෝරත හිමියන්ගේ අපවත්වීම

1963දී සෝරත හිමියන් අපවත් විණි. ඒ දක්වා විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු මෙන්ම භෞතික සම්පත් වැඩි දියුණු කිරීම සඳහා සෝරත නාහිමියන් ගත් වෙහෙස කෙතරම්ද යත් උන්වහන්සේගේ දෙපයේ නොගැටුණු එක වැලි කැටයක්වත් විශ්ව විද්‍යාල පරිශ්‍රයේ නොතිබුණු බව පැරැන්නන් පවසයි.

කාන්තා සම්ප්‍රාප්තිය

විශ්ව විද්‍යාලයට පළමු වරට ශිෂ්‍යාවන්ගේ පැමිණීම

විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අතරත් ආචාර්ය භවතුන් අතරත් අනධ්‍යයන කාර්ය මණ්ඩලය අතරත් ස්ත්‍රී පුළුටක්වත් නොසිටීම නිසා දැඩි නියන් සායකින් පෙලුනු විශ්ව විද්‍යාල පරිශ්‍රයට මහා වැස්සක් පතිත වූයේ 1966 එක්වරම ශිෂ්‍යාවන් 500ක් ඇතුළු වීම නිසාය.

දේශපාලන සිරකඳවුරක් බවට පත්වීම

දේශපාලන සිරකරුවන් විශ්ව විද්‍යාල භූමියේදී

විශ්ව විද්‍යාලය තුල විවිධ ශිෂ්‍ය සංගම් ඔස්සේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය වැනි ප්‍රධාන දේශපාලන පක්ෂ ක්‍රියාත්මක වීම සාමාන්‍ය කාරණයක්‌ විය. අසාමාන්‍ය කාරණය නම් කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කල එවක මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වූ මහින්ද විජේසේකර හරහා 1970 දී ජනතා විමුක්ති පෙරමුණ විශ්ව විද්‍යාලයට පැමිණීම හා එක වසරක් තුල සමස්ත විශ්ව විද්‍යාලය සිසාරා ජවිපෙ බලය ව්‍යාප්ත වීමයි. ඒ ප්‍රතිපලයක් ලෙස 71 කැරැල්ලේ කේන්ද්‍රස්ථානය වුයේ විද්‍යෝදයයි. කැරැල්ලේ තරුණ තරුණියන්ට ඇඳුම් මැසුවේ විද්‍යෝදයයි. බෝම්බ හැන්ගුවේ විද්‍යෝදයයි. රහස් සාකච්චා පැවැත්තුවේ විද්‍යෝදයයි. කැරැල්ල අසාර්ථක වීමත් සමඟ සිදුවූ දෛවෝපගත සිදුවීම නම් ගංගොඩවිල විශ්ව විද්‍යාල පරිශ්‍රය විවෘත කල සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අතින්ම ඒ පරිශ්‍රය විද්‍යෝදය සිරකඳවුර බවට පත්වීමය. දින 550ක් පවත්වාගෙන ගිය මේ සිරකඳවුර නිසා විශ්ව විද්‍යාල පරිශ්‍රය තරුණ ලෙයින් තෙත් විය. ජරාවාස විය. රජයට සිර කඳවුර අකුලා ගන්නට සිදු වූයේ ජවිපෙ පෙරලා යලි බලයට පත්වූ ලංකා ජාතික ශිෂ්‍ය සංගමයේ එස්.බී. දිසානායක, චන්ද්‍රසිරි ගජධීර, අමරදාස මාතරගේ වැනි ශිෂ්‍ය නායකයන් ගෙන ගිය අඛණ්ඩ උද්ගෝෂණය නිසාවේ. ඒත් කෙටි කලකින් ජපුර ශිෂ්‍ය සංගම් වල බලය යලිත් ජවිපෙ අතට පත්විණ. එතැන් පටන් ඉතා මෑතක පෙරටුගාමීන් කරලියට පැමිණෙන තුරු හොඳින් හෝ නොහොඳින් ශිෂ්‍ය සංගම්වල බලය තහවුරු කරගෙන සිටියේ ජනතා විමුක්ති පෙරමුණය.

කැරැල්ලෙන් පසු විශ්වවිද්‍යාලය කප්පාදුව සහ නැවත නැගී සිටීම

1972 විශ්ව විද්‍යාල පණත සංශෝධනය කිරීමත් සමඟ අපේ විශ්ව විද්‍යාලය ලංකා විශ්ව විද්‍යාලයේ විද්‍යෝදය මණ්ඩපය බවට පත් විණ. සෝරත හිමියන් නිර්මාණය කල විශ්ව විද්‍යාල ලාංචනය, ආදර්ශ පාඨය කුණු කූඩයට වැටුණි. සිරිමාවෝ මැතිනිය වටා සිටි විද්වත් කේවට්ටයන් විද්‍යෝදය විශ්ව විද්‍යාලය කප්පාදු කරන්න පටන් ගත්හ. ඒ විද්‍යෝදය 71 කැරැල්ලේ කේන්ද්‍රස්ථානයක් වුන නිසාත් විය හැකිය. විද්‍යා පීඨයක් බවට පත් කරන්නට තරම් දියුණු මට්ටමකට පත්ව තිබුණු අධ්‍යාපන විද්‍යා අධ්‍යනාංශය සිසුන් ආචාර්යවරුන් පමණක් නොව පුස්තකාලයේ තිබුණු අධ්‍යාපන විද්‍යාවට අදාළ පොත්ද සමඟ කොළඹ විශ්ව විද්‍යාලයට ගෙන ගියහ. සංස්කෘත, දෙමළ, පුරාවිද්‍යාව යන විෂයන් කැලණිය විශ්ව විද්‍යාලයට ගෙන ගියහ. සිංහල විශේෂවේදී උපාධි පාඨමාලාව සහමුලින්ම කපා හරින ලද අතර සමාජ විද්‍යා අංශය ඉතිහාස අංශයට ඈදන ලදී. අති නවීන විද්‍යෝදය මුද්‍රණාලයේ යන්ත්‍රෝපකරණ මොරටුවට අරන් ගියහ. මේ කප්පාදුව සඳහා උඩගෙඩි දුන් ඊනියා විද්වතුන් එදා ඉන් කාළකන්නි සතුටක් ලබන්නට ඇත. අපේ විශ්ව විද්‍යාලය වළදමා සමාදානයේ සතපවන්නට හැකියයි සිතන්නට ඇත.ඒත් මැතිවරණ පොරොන්දුවක් ඉටු කරමින් 1977 බලයට පත්වූ ජේ.ආර්. ජයවර්ධන රජය මණ්ඩප ක්‍රමය අහෝසි කිරීමත් විශ්ව විද්‍යාල වලට ස්වාධීනත්වය ලබා දීමත් විශ්ව විද්‍යාල පිහිටි ප්‍රදේශ අනුව ඒවා නම් කිරීමට තීන්දු කිරීම සහ ඒ අනුව අපේ විශ්ව විද්‍යාලය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය බවට පත් වීමත් සමඟ මළවුන්ගෙන් නැගිටින්නත් අනුප්‍රාණය ලබන්ටත් අපේ විශ්ව විද්‍යාලයට පුළුවන් විය.


මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් ජපුර ප්‍රදීප ප්‍රණාම 2018 උත්සව අවස්ථාවේ පැවැත්වූ දේශනය

මෙම ලිපිය මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් ජපුර ප්‍රදීප ප්‍රණාම 2018 උත්සව අවස්ථාවේ පැවැත්වූ දේශනය අනුව සකස් කෙරුණි.
ජායරූප: මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් සංගෘහිත ශ්‍රී ජවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වෘතාන්තය; රූපමය අතිතවලොකනය නම් ග්‍රන්ථය ඇසුරිනි. 


ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයනාංශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

Related Posts Plugin for WordPress, Blogger...

News