ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ පුරාවිද්‍යා කෞතුකාගාරයට වසර 58 ක් සපිරේ

ලෝකයේ කෞතුකාගාර ආරම්භවීමෙන් පසු, විවිධ අරමුණු හා විෂය කේෂ්ත්‍රයන් මුල් කරගෙන කෞතුකාගාර ආරම්භ විය. ඒ අනුව විශ්වවිද්‍යාල තුළ ද අධ්‍යයන හා පර්යේෂණ කටයුතු පදනම් කරගෙන කෞතුකාගාර නිර්මාණය විය. ශ්‍රී ලංකාවේ එසේ විශ්වවිද්‍යාල පදනම් කරගෙන ආරම්භ වූ ප්‍රථම පුරාවිද්‍යා කෞතුකාගාරය 1962 ඔක්තෝබර් 28 වැනි දින, විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ (වර්තමාන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ) නිර්මාතෘ අතිගෞරවාර්හ ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය පණ්ඩිත වැලිවිටියේ ශ්‍රී සෝරත නායක ස්වාමින් වහන්සේ විසින් ආරම්භ කරන ලදී. 1960 වසරේ දී පුරාවිද්‍යා අධ්‍යයනාංශයක් ආරම්භ කළ අතර එහි මුල්ම අධ්‍යයනාංශ ප්‍රධානියා වූයේ ද අතිපූජ්‍ය වැලිවිටියේ සෝරත නා හිමිපාණන් ය. පුරාවිද්‍යාව, ප්‍රථම උපාධිය සඳහා විශ්වවිද්‍යාලයක හඳුන්වා දුන් හා ඉගැන්වූ ලොව පළමු විශ්වවිද්‍යාලය ලෙස ඉතිහාසයට එක්වන්නේ ද විද්‍යෝදය විශ්වවිද්‍යාලයයි. ආරම්භක අවධියෙහි ම කෞතුකාගාරයක අවශ්‍යතාවය උන්වහන්සේ හඳුනා ගැනීමේ පරිචය අගය කළ යුතුමය. දෙස්, විදෙස් ගිහි, පැවිදි උගත් බොහෝ පිරිස් විසින් වටිනා කෞතුක වස්තු එම කෞතුකාගාරය සඳහා පරිත්‍යාග කර ඇත.
ආරම්භක අවධියේ සිටම කෞතුකාගාර මූලධර්ම හා විධි නියම අනුගමනය කරමින් ක්‍රියාත්මක වූ විශ්වවිද්‍යාල කෞතුකාගාරයක් ලෙස විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා කෞතුකාගාරය ගෞරවාදරයට පාත්‍ර විය. විශ්වවිද්‍යාල සිසුන් සඳහා මෙන්ම මහජනතාව සඳහා ද මෙම කෞතුකාගාරයෙන් සිදුකරන සේවාව වඩාත් ඵලදායිව ඉටු කිරීම අරමුණු කරගෙන කෞතුකාගාරයේ නවීකරණ කටයුතු ද මේ වන විට සිදුකරමින් පවතී. ඒ සඳහා විශ්වවිද්‍යාලයේ ගරු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද, ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ අංශ ප්‍රධාන මහාචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව මහතාගෙන් ද ලැබෙන දායකත්වය අතිමහත්ය.
එවැනි පසුබිමක 2019 ඔක්තෝම්බර් මස 28 වැනි දිනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා කෞතුකාගාරයට වසර 58 ක් සපිරේ. එම අවස්ථාව නිමිති කොටගෙන ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයනාංශ ප්‍රධානතුමාගේ උපදෙස් පරිදි, උපකුලපතිතුමාගේ හා පීඨාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්, විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ හා කෞතුකාගාරයේ නිර්මාතෘ අතිගෞරවාර්හ ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය පණ්ඩිත වැලිවිටියේ ශ්‍රී සෝරත නායක ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා බෝධි පූජා පිංකමක් 2019 ඔක්තෝම්බර් මස 31 වැනි දින පෙ.ව. 9.00 ට බුදු මැදුර අබියස දී ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ සිසුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.

Related Posts Plugin for WordPress, Blogger...

News